ශිෂ්‍යත්වයට අත්වැලක් - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය - Emblem of Sri Lanka

වර්ථමාන රාජ්‍ය ලාංඡනය 1972 සිට භාවිතයේ පවතී


ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර රාජ්‍ය ලාංඡනය ලෙස භාවිත වුයේ සිංහයන් දෙදෙනා සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වත්මන් රාජ්‍ය ලාංඡනය හඳුන්වා දෙන ලදි.


1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම නිමිති කර ගෙන ජනරජ දින උත්සවය සැමරීම සඳහා රාජ්‍ය ලාංඡනයක් සැකසීමට පහත පරිදි විද්වත් පිරිසකින් සමන්විත කමිටුවක් පත් කෙරිණි.
  1. නිශ්ශංක විජේරත්න 
  2. ආචාර්ය නන්දදේව විජේසේකර 
  3. ආචාර්ය සෙනරත් පරණවිතාන 
  4. එච්.ආර්.පෙ‍්‍රමරත්න 
  5. රෝලන්ඩ් සිල්වා 
  6. ආචාර්ය මැකී රත්වත්තේ 
  7. මහගමසේකර
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන් ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේ ය.

රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේ ද උපදෙස් ලැබිණි.

රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් හැඳින්වෙන අර්ථයන් පහත දක්වා ඇත.

  1. ඉර සහ හඳ - ඉරහඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්‍ෂාව.
  2. නෙළුම් පෙති - නිර්මලත්වය.
  3. රතු පසුබිමක ඇති සිංහයා - සිංහලයාගේ ජීව රුධිරය සහ ජාතියේ අභීත බව.
  4. සිංහයා වටා ඇති නෙළුම් පෙති - පිවිතුරුබව හා උතුම්බව.
  5. සිංහයා කඩුවක් දරා සිටීම - ප්‍රෞඩත්වය.
  6. වී කරල් -  සෞභාග්‍යය
  7. පුන්කලස - සශ්‍රීක සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක්.
  8. ධර්ම චක්‍රය - රටවැසියන්ගේ ධාර්මිකභාවය, සාධාරණත්වය සහ හික්මීම.
  9. මායිම් රේඛාව - ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව.
මේ සියලු දෑ තුළින් ශ්‍රී ලංකාවේ ජනරජ ලාංඡනය සකස් කිරීමේ දී පුරෝගාමීත්වය දැක්වූ විද්වත්හු මෙරට උදාරත්වය පෙන්නුම් කිරීමට උත්සාහ ගෙන ඇති බව අනාවරණය වේ. සෑම ජාතියකටම ඔවුන්ගේ මානව හිතවාදී ප්‍රාර්ථනා ද සාමය හා සමානාත්මතාව ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය මඟින් අර්ථවත් කෙරේ.

වරථමාන රාජ්‍ය ලාංඡනය භාවිතා වන අවස්ථා වලට උදාහරණ පහතින් දක්වා ඇත. මෙම උදාහරණ මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්හි විවිධ අවස්ථා සඳහා රාජ්‍ය ලාංඡනය බහුලව භාවිතා වන අවස්ථා දැක ගත හැක.
  • රාජ්‍ය නායකයා අන් රටක් සමඟ ද්විපාර්ශවීයව හෝ ගිවිසුමකට අත්සන් කිරීමේදී
  • තානාපතිවරුන්ගේ පත්වීම් ලිපි 
  • අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම් ලිපි
  • ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කර සම්මාන සහතික
  • ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ පත්වීම් ලිපි
  • පළාත් ආණ්ඩුකාරවරුන්ගේ පත්වීම් ලිපි
  • රජයේ නිල නියෝග,ආඥා අණපනත් 
  • නිවේදන සහ ගැසට් නිවේදන
  • රජයේ අමාත්‍යංශ,දෙපාර්ත‍මේන්තු යන ආයතයන්හි ලිපි ශීර්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ලාංඡනය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහි නිශ්චිත සඳහනක් නොමැති අතර රාජ්‍ය ලාංඡනයේ හිමිකාරීත්වය සහ භාවිත කිරීමේ අයිතිය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. 

ජාතික ධජය, ජාතික ගීය සම්බන්ධයෙන් වන නිර්ණායක රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීමට නැතත් මෙහි ගෞරුත්වය ආරක්‍ෂා කරීම හා අවභාවිතාව වැලැක්වීම සඳහා  අවශ්‍ය ‍ නෛතික පසුබිම සකස් කිරීමට කාලය එළඹ ඇත.

පැරණි රාජ්‍ය ලාංඡනය (1952–1972)



Comments

Post a Comment

Popular posts from this blog

වැදි භාෂාවේ භාවිතා වන වචන

ශිෂ්‍යත්වයට ධීවර භාෂාව